Tuesday, July 19, 2022

QR කේතය ක්‍රියාත්මක වන තුරු ඉන්ධන ලබා දෙන සීමා මෙන්න

 




ඉන්ධන බෙදා හැරීම එළඹෙන 21 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ සඳහා සාකච්ඡාවක් අද (ජූලි 21) සවස පැවැත්වූ බව ය.

ඉන්ධන අවසර පත ක්‍රියාත්මක වන තුරු රථ වාහන සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට තීරණය කළ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව, මෝටර් බයිසිකලයකට උපරිම රු.1500ක, ත්‍රී රෝද රථයකට රු. 2000ක සහ අනෙකුත් වාහන වෙනුවෙන් රු. 7000ක උපරිම මුදලකට පමණක් ඉන්ධන නිකුත් කරන බව ඔහු පැවසීය.

මෙම ක්‍රියාවලියට අනුගත නොවන පිරිස්වලට ඉන්ධන ලබා නොදීමට සහ අනුගත නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා නොහැරීමට ද තීරණය කළ බව අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.

එහිදී 21 වන දින සිට වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව 0,1 හෝ 2න් අවසන් වන ඉලක්කම් සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින දෙක, 3, 4 හෝ 5න් අවසන් ඉලක්කම් සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින දෙක ත්, 6 , 7, 8 හෝ 9න් අවසන් ඉලක්කම් සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දවස් තුන අනුව ඉන්ධන ලබා දීම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

එමෙන් ම ජාතික ඉන්ධන අවසර පත අනුව ඉන්ධන ලබා දීම කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පිරවුම්හල් කිහිපයක 21 වන දින සිට දින 3ක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට ත් එය දීප ව්‍යාප්තව 25 වන දින සිට ක්‍රියාවට නැංවීමට එහිදී තීරණය කර ඇත.

ආරක්ෂක අංශ, යොවුන් සේනාංකය සහ තරුණ සේවා සභාවේ නිලධාරීන් සහ සාමාජිකයන් මගින් සෑම ඉන්ධන පිරවුම් හලක සේවකයන්ට, පැමිණෙන ජනතාවට මෙන් ම විවිධ ප්‍රදේශවල තාක්ෂණය පිළිබඳව ගැටලු ඇති ජනතාවට මෙම අවසර පත සමගින් ලියාපදිංචි වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමටද සැලසුම් කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, දැනට පෝලිම්වල ඇති වාහන ඉවත් කිරීමට නොහැකි නම්, එම අදාළ දිනයේ අංකයට අනුව පමණක් ඉන්ධන ලබා දී ඉවත් කිරීමට තීරණය කළ බව ත් ආරක්ෂක අංශ විසින් එම අංකයට සහ දිනයට අදාළ අංක සහිත රථ සඳහා පමණක් ඉන්ධන ලබා දීමට කටයුතු කිරීමට තීරණය කරන ලද බව ත් ය.


No comments: