Tuesday, July 19, 2022

21 වන දා සිට තෙල් දෙන්නේ මෙහෙමයි

 



රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධනහල් හරහා ඉන්ධන නිකුත් කිරීම එළැඹෙන 21 වන දා සිට QR කේත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ ‘මව්බිම’ට පැවසීය.


වාහනයේ අවසන් අංකයට අදාළ දිනයට වාහනය ඉන්ධන පෝලිම වෙත රැගෙන ආ යුතු අතර මෙලෙස දිනවලට අදාළව වර්ග කළ වාහන අවසන් අංක මෙසේ ය.


0,1,2 – සඳුදා, බ්‍රහස්පතින්දා


3,4,5 – අඟහරුවාදා, සිකුරාදා


6,7,8,9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා


මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වැඩකටයුතු සූදානම් කර ඇති නිසා ජනතාවට පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා දැනුම් දුන්නේ ය.


එසේ ම මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීම හේතුවෙන් පෙර යුද්ධ හමුදාව විසින් ලබා දෙන ලද ටෝකන් ක්‍රමය ලබන 21 වන දා සිට අවලංගු වන බව ද හෙතෙම කියා සිටියේ ය.


මෙම නව QR කේත ක්‍රමය ඔස්සේ දින දෙකක් වාහන හිමියන්ට ඉන්ධන ලබාගත හැකිය. එසේ ම මෙය ද ක්‍රියාත්මක කරන්නේ කෝටා ක්‍රමයක් යටතේ බව ත් QR කේතයේ අදාළ වාහනයට හිමි ඉන්ධන ලීටර් ප්‍රමාණය දක්වා ඇති බව ද සභාපතිවරයා පැවසීය.


එසේ ම, තමාට හිමි දිනයට ඕනෑ ම සිපෙට්කෝ ඉන්ධනහලකින් තමාට හිමි ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට හැකියාවක් පවතින බව ද ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

No comments: